බාර් එක ඇරියොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ

බාර් එක ඇරියොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ

වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරීමට නියමිත මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ඡන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටින බව මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පවසනවා.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සඳහා රජයෙන් නව මත්පැන් බලපත්‍රයක් ලබාදීමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණා.

උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකළ රුපියල් 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදී, දැනට දෛනිකව ලබා ගන්නා රුපියල් 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව ඇති පසුබිමක අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කළහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.

තවද වටවල සිට හැටන් දක්වා කිලෝමිටර් පහක් තුළ මත්පැන් අලෙවිසැල් හතරක් ඇති බවත්, වතුකරයට මෙපමණ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමනෙ රජය අපෙක්ෂා කරන්නේ වතු කම්කරු ආර්ථික වශයෙන් තවදුරටත් පහළ දැමීමට බවත් උද්ඝෝෂකයන් කියා සිටිනවා.

මේ අතර, උද්ඝෝෂකයන් හමුවට පැමිණි දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට සැලසුම් කර ඇති මත්පැන් අලෙවිසැලට මහජන විරෝධයක් මතුව ඇති නිසා එම මත්පැන් අලෙවිසැලට ලබා දි ඇති බලපත්‍රය අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසු උද්ඝෝෂණයේ නිරත වි සිටි පිරිස අවධාරණය කර සිටියේ අදාළ මත්පැන් අලෙවිසැල විවෘත කලහොත් ජනාධිපතිවරණයේදි වටවල ප්‍රදේශයේ කිසිදු ඡන්ද දායකයෙකු ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බවයි.