රජයේ හෙද නිලධාරින් අද වර්ජනයේ – සංගම් කිහිපයක වර්ජනය තාවකාලිකව අවසන්

රජයේ හෙද නිලධාරින් අද වර්ජනයේ – සංගම් කිහිපයක වර්ජනය තාවකාලිකව අවසන්

අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කරන්නේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.

එසේ ම DAT දීමනාව ඇතුළු තම ගැටලු සම්බන්ධයෙන්, ඊයේ රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

අද උදෑසන වර්ජනය තාවකාලිකව අවසන් කරන බව සඳහන් කළේ ඔහු වැඩිදුරටත් පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් එළඹෙන 18 වැනි දා කැඳවන බවයි.

Share This