රජයේ විධායක නිලධාරීන් හෙට සිට කරන්න යන දේ

රජයේ විධායක නිලධාරීන් හෙට සිට කරන්න යන දේ

රජයේ විධායක නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීම ප්‍රමාද කරන නිසා එයට විරෝධය පා ශ්‍රේණි 18 ක සේවය කරන නිලධාරීන් හෙට (15) සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

රාජ්‍ය ඉංජිනේරු සේවය, අයුර්වේද වෛද්‍ය සේවාව, ක්‍රමසම්පාද සේවාව, රජයේ පශු වෛද්‍ය සේවාව, අධ්‍යාපන පරිපාලන සේවය, මිනින්දෝරු සේවාව, විද්‍යාත්මක සේවාව, ගුරුඅධ්‍යාපනඥ සේවය, වාස්තු විද්‍යාඥ සේවාව, තොරුතුරැ හා සන්නිවේදන සේවය, කෘෂිකාර්මික සේවය, දේශීය ආදායම් සේවාව, සංඛාලේඛනවරුන්ගේ සේවය, ධීවර හා ජලජසම්පත් සේවය, කම්කරු කොමසාරිස් සේවාව, ගණකාධිකාරි සේවාව සහ තැපැල් සේවා විධායක හා මණ්ඩලික සේවාවල පිරිස් අකුරුට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සිදුකරන බවද පෙන්වා දෙයි.

පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කරන විමධ්‍යගත අරමුදල්වලින් සිදුකරන ව්‍යාපෘති සම්බන්ධයෙන් පවත්වන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට විධායක නිලධාරීන් සහාභාගි නොවී වෘත්තිය ක්‍රියා මාර්ග අඛණ්ඩව සිදුකරන බවද සඳහන් කරයි.

පවතින වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හරිමින් ගනු ලබන තීන්දු නිසා අසාධාරණයට පත් නිලධාරීන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා මෙම අකුරට වැඩ කිරීම සිදුවේ.

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් පසුගිය 02 වැනි දින වැඩවර්ජනයක් හා කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වූ බවත්, 03 වැනි දින වැඩ වර්ජනයක් සිදුකළ බවත් සඳහන් කරයි.

පවතින වැටුප් විෂමතා විසඳීම ප්‍රමාද කරනවා නම් අදාළ ගැටලුව විසඳන තෙක් මාසයකට රු.75.000ක දීමනාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බවද කමිටුව සඳහන් කරයි.

මෙම සේවාවන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කමිටුවක් පත් කර තිබෙන බවත්, අදාළ කමිටු විසින් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබා දි යුතු බවත්, ඉන් පසුව කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිත බවත් පෙන්වා දෙයි.