මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි නියෝග

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි නියෝග

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය.

එම කාරක සභාව පසුගියදා (24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ පොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිබවට නිරීක්ෂණය කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ගරු පාඨලී සම්පිකරණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී රැස්විය. කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු කැඳවා තිබිණි.

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළ විය. එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවද මෙහිදී අනාවරණය විය. එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම මේ මස (අගෝස්තු) 30 වැනි දින වන විට සම්පුර්ණ කරන ලෙස අදාළ සමාගම වෙත සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම, ව්‍යාජ ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් හඳුනා ගැනිම සදහා සිදුකළ වැටලීම් වල තොරතුරු මෙන්ම අත්අඩංගුවට ගත් ව්‍යාජ මත්පැන් බෝතල් නිෂ්පාදනය කළ හා අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් 2023 සැප්තැම්බර් 15 වැනිදාට පෙර කටයුතු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

එසේම උක්ත ස්ටිකරය සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි පිළිබද විමසු කාරක සභාව සමාගම් කිහිපයක් පමණක් එම ස්ටිකරය භාවිත නොකිරීමට නීතියේ ඇති ප්‍රතිපාදන නිවැරදි කර සියලු සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවිම අනිවාර්ය කරන ලෙස ද සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

එ‍මෙන් ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිග මුදල් මෙම වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිග බදු මුදල් අයකර ගැනීමට සැලසුම ඔක්තෝම්බර් මස 30 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත දැනුම් දුන්නේය. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Share This