STF නිලධාරීන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

STF නිලධාරීන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

මෑතකදී දැඩි මතභේදයකට තුඩු දුන් ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් මේ මස 26 වනදා තෙක් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස් දෙනා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයින් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ අවස්ථාවේදී ඔවුන්ට මෙම චෝදනාව එල්ල වී තිබෙන බව සඳහන් කර සිටියේය.

මෙම සිද්ධියට අදාල නඩුව අද (21) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බලන තෙක් තම සේවා දායකයින්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වළක්වාලන නියෝගයක් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි තමන් වෙත ලැබී නොමැති බවත් වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

ඒ අනුව, අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරුවරයා එදින තෙක් අදාල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.