ලක්ෂ 60 කට ආසන්න ගජමුතු දෙකක් STF එකට විකුණන්න යද්දී අත්අඩංගුවට

ලක්ෂ 60 කට ආසන්න ගජමුතු දෙකක් STF එකට විකුණන්න යද්දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුතු ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම් කරුවකු සමග ගජමුතු දෙකක් ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් සමත්ව තිබේ.

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජමුතු දෙකක් අලෙවි කිරීම සදහා ගැණුම්කරුවකු සොයමින් සිටින ජාවාරම්කරුවකු පිළිබදව පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකාය උපාය දූතයකු යොදවා දින කිහිපයක් පුරා අදාළ ජාවාරම්කරු සමග දුරකථනය ඔස්සේ කතා බහ කරමින් සමීප හිතවත්කමක් ගොඩනගාගෙන තිබේ.

පසුව ජාවාරම්කරු විසින් අදාළ ගජමුතු දෙකෙහි වටිනාකම පවසා ඇති අතර, පසුව එය මිළදී ගැනීමට එකග බව පැවසූ උපාය දූතයා හට එය අලෙවි කිරීම සදහා මෙලෙස රැගෙනවිත් සිටියදී පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (29) හැවිරිදි විවාහකයකු වන ඔහු ඉලෙක්ට්‍රොනික් උපාංග අළුත් වැඩියා කරන්නකු බව කියයි.

අදාළ සැකකරු විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 60ට ආසන්න බවත්, මොහු එය ඉතා සූක්ෂම ලෙස හොර රහසේ සගවා ගෙන බුත්තල සිට පාලවිය දක්වා පොදු මගී ප්‍රවාහන බස් රථ ආධාරයෙන් රැගෙනවිත් ඇති අතර, පාලවිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර වැඩිදුර පරික්ෂණ සදහා පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කල බවයි, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් සදහන් කරන්නේ.

අදාළ සැකකරුට මෙම දුර්ලභ ගණයේ ගජමුතු කුමන අයුරකින් හමුවී ඇත්දැයි යන්න සෙවීමට මේ වන විට පුත්තලම පොලිසිය විසින් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරු (25) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ පොලිස් පරික්ෂක එච්.කේ.එම්.ඒ.විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (67903) අබේසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (85597) කරුණාතිලක, (90719) විජේසිරි, (92776) වික්‍රමසිංහ යන නිලධාරින් වැටලීමට එක්ව තිබූ අතර, පුත්තලම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක තුමන් ඇතුළු නිළධාරින් පුළුල් විමර්ශණ ආරම්භ කර තිබුණි.

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන