ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) පැවැත්වෙයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2ට චිතගොංහි දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ බංග්ලාදේශ සමග පැවැති 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකිනි.

එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර නායකත්වය සුපුරුදු පරිදි කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි.

අසිත ප්‍රනාන්දු සහ ෂෙවෝන් ඩැනියෙල් වෙනුවට ළහිරු කුමාර සහ කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරග 54ක් පවත්වා ඇති අතර ඉන් තරග 42ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංග්ලාදේශය තරග 10ක් ජය ගත්තේය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේදී බංග්ලාදේශය සමග මේ දක්වා එක්දින තරග 20කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 16ක් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

බංග්ලාදේශය සිය මවුබිමේදි ශ්‍රී ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ තරග 6ක් පමණි.

ශ්‍රී ලංකා පිල චිතගොං ක්‍රීඩාංගණයේ මෙලෙස එක්දින තරගයට එක්වන්නේ වසර 18කට පසුව වීමද විශේෂත්වයකි.