සිනොපෙක් පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩින් වැඩ අරඹයි

සිනොපෙක් පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩින් වැඩ අරඹයි

රජය චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව මෙරට ආරම්භ කළ පළමු ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ C & A ඉන්ධන පිරවුම්හල සිනොපෙක් නමින් සිය සේවා කටයුතු ආරම්භ කළ බව එහි හිමිකරු චන්දිම නාලක කපුරුගේ මහතා පැවසීය.

මේ සදහා චීනයේ සිනොපෙක් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගී වී සිටීම විශේෂත්වයකි .

මීට පෙර මෙම ඉන්ධන පිරවුම්හල සිපෙට්කෝ යටතේ පැවති අතර චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් අනතුරුව එහි නිල ලාංඡනය යටතේ මින් ඉදිරියට සේවා කටයුතු සිදුකරන බව චන්දිම කපුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.

නව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප 16ක් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර සෑම ඉන්ධන වර්ගයකින්ම රුපියල් තුනක සහනයක් ලබා දී තිබේ.

මීට අමතරව පාරිභෝගික සේවා අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හලට සමගාමීව සුපිරි වෙළද සංකීර්ණයක් ඉදි කිරීමටත් නව පොම්ප සවි කොට වසරක් ඇතුළත ඉන්ධන හල නවීකරණය කිරීමටත් සිනොපෙක් ආයතනය පියවර ගැනීමට නියමිත බව චන්දිම කපුරුගේ මහතා පැවසීය.

No description available.

Share This