සයිනොපෙක් පළමු ඉන්ධන තොගය අගෝස්තු මුල

සයිනොපෙක් පළමු ඉන්ධන තොගය අගෝස්තු මුල

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇනවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

සියලුම සමාගම් වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කර දෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ලබන මාසයේ මුල් සතිය වෙද්දි පළවෙනි ෂිප්මට් දෙක සයිනොපෙක් සමාගමෙන් එනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා සමාන්‍යයෙන් එළියට ගිය ඩොලර් ප්‍රමාණය CPC එකෙන් 20%ක් පළවෙනි මාසය තුළම අඩුකර ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම මාසිකව 45%ක් දක්වා ඒ එළියට ගිය ඩොලර් ප්‍රමාණය අඩුකර ගන්න හැකියාව ලැබෙනවා. ඊට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා එක්කෝ QR කේතය වැඩිකර ගත හැකියි. නැත්නම් සම්පූර්ණයෙන්ම අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා.

මේ මාසේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ, සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය පාවිච්චි කරලා, අපි අමාත්‍යාංශය මඟින් හැම මාසයේම උපරිම මිලක් තීරණය කරනවා. පෙට්‍රල්වල උපරිම මිල මෙච්චරයි, ඩීසල්වල මෙච්චරයි, 95 මෙච්චරයි, සුපර් ඩීසල්වල උපරිම මිල මෙච්චරයි කියලා උපරිම මිල විතරයි තීරණය කරන්නේ. ඉන් පසුව CPC එකට, LIOC එකට, ඒ වගේම අලුත් සමාගම් තුනට හැකියාව තියෙනවා උපරිම මිලට යටත්ව තමන් කැමති මිලට විකිණීමේ හැකියාව තියෙනවා. එක සමාගමක් මිල අඩුකරද්දි ඊට සාපේක්ෂව අනෙක් සමාගමත් තරගකාරීත්වයක් ඇතිවීම තුළින් රටට තෙල් මිලේ විශාල අඩුවක් ලබාදෙන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා.”

Share This