ශ්‍රී ලංකාව ළඟින් යන නැව් වලින් ඩොලර් ගන්න සැලසුමක්

ශ්‍රී ලංකාව ළඟින් යන නැව් වලින් ඩොලර් ගන්න සැලසුමක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

ඒ, එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ දීයි.

එහි දී “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන්.

එම රැස්වීමට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, 1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවති බවයි.

කෙසේ වෙතත් එය භාවිත නොකර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ දී කෙටුම්පතක් සම්මත වීම හරහා ඒ සඳහා වන නෛතික බලය මෙරටට ලැබෙන බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.

ජාතික ජලශාස්ත‍්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජල‍ශාස්ත‍්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒහා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම ද මෙම පනතේ අරමුණ වේ.

දකුණු මුහුදම ආවරණය කරමින් නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින් සිතියම් 3ක් නිර්මාණය කර ඇති බවයි, එහි දී නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරින් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම පනත ඔස්සේ ගවේෂණය කර දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරිමේ බලය මෙරටට හිමිවන බවයි නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කර ඇත්තේ.

මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව සඳහන්.

මෙහි දී අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරින් කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත තුලින් ඔවුන්ගේ ආයතනය මගින් සිදුකරනු ලබන යම් කටයුතු ප්‍රමාණයක් ගිලිහෙන බවයි.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව ද සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ඒ සඳහා සංශෝධන එක් කිරීමට නාරා ආයතනයට අදාළ අමාත්‍යවරයා හරහ‍ා අවස්ථාව සැලසෙන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Share This