ගණේමුල්ල සංජීවගේ තවත් ගිනි අවි දෙකක් සොයාගනී

ගණේමුල්ල සංජීවගේ තවත් ගිනි අවි දෙකක් සොයාගනී

දින 90 ක රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා තබා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මුල්ලේරියාව කුමාර මාවත ප්‍රදේශයේ ලදු කැලෑවක සඟවා තිබූ විදේශිය නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

පසුගිය වසරේ ජුනි 26 වන දින පෑලියගොඩ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් මේ වසරේ ජනවාරි 17 වන දින පෑලියගොඩ කළු පාලම අසලදී තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් අදාළව මෙම ගිනිඅවි යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙම පාතාල කල්ලි නායකයාගෙන් හෙළි කර ගත් තොරතුරු මත කඩුවෙල ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් යට සඟවා තිබූ ටී ටී-56 ස්වයංක්‍රීය ගිනි ගිනි අවියක් ද නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ ගිනි අවි, අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට පෙරද සොයාගෙන තිබිණි.

ගනේමුල්ල සංජීව නැමැති මෙම පාතාල කල්ලි නායකයා විසින් තවත් ස්ථානවල අවි ආයුධ, බෝම්බ සහ ජීව උණ්ඩ සඟවා ඇති බවට පෙනී යන නිසා ඒවා සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Share This