සමනලවැව බලන්න ආ යුවළ බිය කර පෙම්වතාට මාංචු දමා පෙම්වතියට අතවර කළ කොස්තාපල් අල්ලයි
පසුගිය 06 වැනිදා සමනලවැව නැරඹීම සඳහා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම් යුවළක් බියවද්දා පෙම්වතා යතුරුපැදියට සම්බන්ධ කර මාංචු දමා පෙම්වතිය අසල ලඳු කැලෑවකට රැගෙන ගොස් නිරුවත්කර අතවර කළ හම්බෙගමුව පොලිසියේ කොස්තාපල්වරයකු සමනලවැව පොලිසිය විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබේ.
මැද්දේගම ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ඇයගේ පෙම්වතා සමඟ යතුරුපැදියෙන් සමනලවැව වේල්ල නැරඹීමට පැමිණ ඇත.
වේල්ලේ සිටින විට ඔවුන් අසලට පැමිණි අයෙකු හැඳුනුම්පතක් පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව කියා මත්ද්‍රව්‍ය තිබේදැයි බැලීමට දෙදෙනා පරීක්ෂා කළ යුතු බව පවසා පෙම්වතා යතුරුපැදියට අල්ලා මාංචු දමා ඇත.
පසුව 18 හැවිරිදි පෙම්වතිය අසල ළඳු කැලෑවකට රැගෙන ගොස් නිරුවත් කර අතවර කර පසුව ජංගම දුරකථනයකින් ඇයගේ නිරුවත වීඩියෝ කිරීමට උත්සාහ කර ඇතත් තරුණිය එය වළක්වා ඇත.
නාඳුනන පුද්ගලයකු පොලිස් නිලධාරියකු ලෙස හැසිරෙමින් සමනලවැව වේල්ල අසල සැරිසරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් සමනලවැව පොලිසියට ලැබී ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය වේල්ල දෙසට පැමිණ බැලීමේදී නිරුවතින් සිටි තරුණිය සහ මාංචු දමා සිටි තරුණයා දැක ඔවුන් බේරාගෙන ඒ අසල සිටි අපරාධකරුද අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂා කිරීමේදී සැකකරු හම්බේගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල් (76220) ප්‍රසාද් අබේසේකර නමැත්තා බවට හඳුනාගෙන ඇත.
සමනලවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු එක්දරු පියකු බවද අනාවරණය වී තිබේ.
අතවරයට පත්වූ තරුණිය සහ තරුණයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.