දරුවන්ට බෙදා දීමට ගෙන ආ සහල් ප්‍රමිතියෙන් තොරයි

පාසල් දරුවන් සඳහා බෙදා දීමට සැලසුම්කර තිබු වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාකර තිබු සහල් තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි, එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සඳහන් කළේ.

මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මඟින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සඳහා රැගෙනවිත් තිබු සහල් තොග වන අතර පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා මෙලෙස පැවසුවා.

“දිවයින පුරා පාසල්වලට බෙදා දෙන්න ලබාදීපු සහල් රජයේ ආහාර ගබඩාවේ, වේයන්ගොඩ ගබඩා කරලා තියෙනවා.

මේ සහල් සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබිලා තිබුණා. ඒ අනුව වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ ගබඩාවේ තියෙන සහල්වල රස පරීක්ෂකගේ උපදෙස් පරිදි සාම්පල 1,000කට අධික ප්‍රමාණයක අරගෙන තියෙනවා.

එම සාම්පලවල වාර්තා පෙරේදා වෙනවිට වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලැබිලා තියෙනවා. මේ යවපු සාම්පල
වලින් 50%කට වැඩිය කෘමි හානියකට ලක්වෙලා කියලා තමා රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ.

ඒ නිසා මේ සහල් මනුස්ස පරිභෝජනයට ලබාදීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා සහල් පාසල් වලට බෙදාහැරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.”

Share This