රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඉල්ලීමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඉල්ලීමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකරනු ලබන සැත්කම් සම්බන්ධව ඇතැම් පිරිස් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් එයට නොරැවටී දරුවන් රෝගි වූ විට රෝහලට රැගෙන එන ලෙසත් එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය සතියේදි වකගුඩු සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව වයස අවුරුදු දෙකක දරුවකු මියයෑමේ සිදුවිම ඉස්මතු කරමින් ඇතැම් පිරිස් රෝහල පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවද හෙතෙම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම දරුවාගේ සැත්කමට අයත් සියලු පරීක්ෂණ සිදුකර ඇති බවත් දරුවා මියගොස් ඇත්තේ විෂබීජයක් ශරීරගතවීමෙන් බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වුවද මේ වනවිට දෛනිකව රෝහල තුළ දරුවන්ගේ සැත්කම් පනහකට අධික ප්‍රමාණයක් සිදුකරන බවත් දරුවන්ට අවශ්‍ය එම්.ආර්.අයි. පරීක්ෂණ, සීටී පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සිදු කරන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

එසේම රෝහල තුළ ඖෂධ හිඟවීමකින් තොරව කළමනාකරණය කරගනිමින් ප්‍රතිකාර කටයුතු සිදුකරන නිසා අනියත බියක් ඇති නොකරගෙන දරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල වෙත රැගෙන එන ලෙස විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This