වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයෑමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයෑමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දරුවෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිනෙන් දින වාර්තා වන සිදුවීම් පිළිබඳ ජනතාව තුළ පවතින අප්‍රසාදය නැති කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි පියවර ගතයුතු බවයි.

වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ පිරිමි දරුවෙකු (27) මියගොස් තිබිණි.

එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව දරුවාගේ පියා පවසයි.

Share This