වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළට

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළට

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා.

රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කෙරුණා.

එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති අතර එම මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර ඇති බව සඳහන්.

නමුත් මේ වනතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් ප්‍රමාණවත් පරිදි වී අලෙවි කර නොමැති බවයි, වාර්තා වන්නේ.

මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් අලෙවි කර තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

කෙසේ වුවද වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, රුපියල් 105 – 110ත් අතර පැවති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම මේ රටේ පළමු වතාවට සම්බා වී කිලෝවක මිල ද රුපියල් 130 ආසන්නයට පැමිණ තිබෙන අතර මේ නිසා ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බව වාර්තා වන බවයි, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වුවත්, වී අලෙවි මණ්ඩලයට වී නොලැබුනද ගොවි ජනතාවගේ වී වගාව සඳහා ඉහළ මිලක් ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකිවීම ජයග්‍රහණයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබෙනවා.