මල්ශාලා හිමිකරු හර්ස් එක තුළම කපා කොටා ඝාතනය කරලා

මල්ශාලා හිමිකරු හර්ස් එක තුළම කපා කොටා ඝාතනය කරලා

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොල ආවාස වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (25) සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ, තෙල්වත්ත මළවැන්න දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි තුසිත කුමාර නමැති 47 හැවිරිදි සිව් දරු පියකු බව පොලිසිය පැවසීය.

එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇතැයි ද පොලීසිය පැවසීය.

ඝාතනයවූ තැනැත්තා අම්බලන්ගොඩ ඩිපෝව මංසන්ධියේ ‘නිව් රේමන්’ නමින් මල් ශාලාවක් පවත්වාගෙන යන අයෙකි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 9.30ට පමණ ඔහුට ලද දුරකථන ඇමතුමකට අනුව සිය මෝටර් රථයෙන් නිවසින් පිටව ගොස් තිබෙන බවත් එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ ඔහු යටතේ සේවය කරන සේවකයෙක් බවත් මියගිය අයගේ බිරිඳගේ මව පවසන බවද පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී 11ට පමණ බලපිටිය ආවාස වත්ත මංසන්ධියේ හර්ස් රථයක් නතර කර ඇති බව දුටු ප්‍රදේශවාසීන් එය සෝදිසි කිරීමේදී එහි රියදුරු තුවාල සහිතව මියගොස් සිටිනු දැක අම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කර තිබේ.

අදාළ මෝටර් රථයේ රියදුරු අසුනේම තියුණු ආයුධයකින් කපා කොටා ඔහු ඝාතනය කර ඇති බවයි, පොලීසිය පැවසුවේ.

අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදුකරයි.