රවී සහ කෝකිලා සමථයකට පත්වෙයි

රවී සහ කෝකිලා සමථයකට පත්වෙයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ගොනු කළ නඩුව අද (06) කොළඹ දිසා අධිකරණයේදී සමථයට පත්වී තිබේ.

එම නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ, තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත්ය.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකණයේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙසත් දෙපාර්ශවකරුවන්ට නියෝග කර තිබේ.