තණමල්විල සිසුවියක් සිසුන් 22ක් විසින් අවස්ථා 7කදී සමූහ දුෂණය කරලා – විදුහල්පති සිද්ධිය යට ගහලා

තණමල්විල සිසුවියක් සිසුන් 22ක් විසින් අවස්ථා 7කදී සමූහ දුෂණය කරලා – විදුහල්පති සිද්ධිය යට ගහලා

තණමල්විල ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතක දී සිසුන් 22කු එක්ව බලහත්කාරයෙන් මත් පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරියක් විසින් තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ මාපියන් කිහිපදෙනකු එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් තණමල්විල පොලිසිය පවසයි.

තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත කළ මූලික විමර්ශනයකදී සිද්ධිය අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අදාළ දැරිය පොලිස් ස්ථානයට කැඳවා කළ ප්‍රශ්න කිරීමේ දී ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී තිබේ.

අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේම සිසුවකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇත. එම සිසුවා දැරිය රවටා යහළුවකුගේම නිවසකට රැගෙන ගොස් තිබේ.

පසුව එහි සිටි තවත් සිසුන් දෙදෙනකු සමග දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ කර ඇත.

පසුව එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතක දී එම පාසලේම සිසුන් 20 දෙනකු ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළුව විසිදෙනකු එක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බව කියැවේ.

2022 වසරේ අවසාන මාස හතර තුළ මෙම දැරියව මුල්වරට දූෂණය ලක් කළ තිදෙනාගේ සහායෙන් අනෙක් පාසල් සිසුන් ඇයව බියවද්දවා තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාගාරයේ ක්‍රීඩා කාමරයක් තුළ, තණමල්විල කිරිඳිඔය රක්ෂිතයේදී, පාසලක වැසිකිළියක් තුළ දී සහ තවත් නිවාස දෙකක දී දූෂණය කර ඇත.

සිසුන් 07 දෙනකු එක්ව දැරිය කිරිඳිඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එය ද විඩියෝ ගතකර තිබේ.

එම සිදුවීම පිළිබඳව මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබේ.

ඒ අනුව විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබේ.

සැකකාර සිසුන් පිරිස අතර එක් සිසුවකුගේ පියකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයකු වන අතර මව ද පාසල් ගුරුවරියක වේ.

මේ හේතුව නිසා සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය මාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක් ද නොගෙනය.

ඉන්පසු මුල් සිදුවීම වූ සිසුවාගේ නිවසට පසුගිය මැයි 21 වැනිදා ඇයව කැඳවා දූෂණය කර ඇතැයි ද ඉන්පසුව තවත් සිසුවකුගේ නිවසට සිසුන් තිදෙනකු රැගෙන ගොස් ඇතැයි ද හෙළිවී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ඇතුළු ඊට ආධාර අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේය.

මොනරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ‍ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.