වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට

වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

රංජිත් ආරියරත්න මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයින්ගේ නියෝග සහ ඉල්ලීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් ඔහුට එසේ චෝදනා එල්ලවී ඇතැයිද වාර්තාවේ.

මේ ආකාරයේ චෝදනා කිසිවකට ආරියරත්න මහතා සම්බන්ධ නැති බැවින් ඔහු තනතුරෙන් ඉවත් නොකරන ලෙස වයඹ පළාතේ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් පවා කර තිබූ බවද පැවසේ.

ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කරන ලද ආරියරත්න මහතා ඒ වෙනුවට කුමන තනතුරකට පත් කළාදැයි යන්න මෙතෙක් ප්‍රකාශ වි නැත.

මේ ආකාරයට දිවයිනේ පළාත් සභාවකට පත් කරන ලද ප්‍රධාන ලේකම්වරයෙකු නියමිත සේවා කාලයට පෙර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයද විරෝධය පළ කර ඇති බවද වාර්තාවේ.

ආරියරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින වයඹ පළාත් ප්‍රධාන ලේකම් ධූරය සඳහා මේ සතිය තුළ වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බවද සඳහන්වේ.