ජනපතිගේ ඡන්ද ලකුණ ගැන අවසන් තීරණය අද

ජනපතිගේ ඡන්ද ලකුණ ගැන අවසන් තීරණය අද

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් ඊයේ රාත්‍රීයේ ද ජනාධිපතිවරයා සමඟ ඡන්ද ලකුණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවයි වාර්තා වන්නේ.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වනවිටත් දේශපාලන කණ්ඩායම් රැසක් එක්වෙමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් මහතා පැවසුවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදවත ලකුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

එම සලකුණ මැතිවරණ ලකුණු අතර නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාවද මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් සඳහා මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව එම මැතිවරණ සලකුණු ප්‍රකාශ කරනු ලැබුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟිනුයි.

ඒ අනුව දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති සලකුණු සංඛ්‍යාව 84ක්.