ජනපති ඝාතන තැතක් ගැන සමාජ මධ්‍යයේ ගිය පුවත පිළිබඳ විමර්ශනයක්

ජනපති ඝාතන තැතක් ගැන සමාජ මධ්‍යයේ ගිය පුවත පිළිබඳ විමර්ශනයක්

ජනාධිපති ඝාතන තැතක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන් ම, ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව විධිවිධාන හා ක්‍රියාපටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව නිශ්චිත ක්‍රියාපටිපාටිය මෙහිදී අනුගමනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්ත වනවිට මෙන් ම, දිවයිනෙන් පිටත්ව යන විට ද අදාළ අංශවලට දැනුම් දෙන බව ද හෙතෙම කීය.

මෙසේ දැනුම් දෙනු ලැබූ පණිවුඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබා දී සමාජ මාධ්‍යවල විශාල කැලඹීමක් ඇති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, අභ්‍යන්තර පොලිස් පණිවුඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබා දුන් හා එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට විෂය භාර ඇමතිවරයා නියෝග කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ සහ එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ළඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරයාට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරට ත් සඳහන් කළේය.

Share This