ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර ලබන 22 සහ 23 යන දෙදින පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මෙවර පැවැත්වෙන්නේ ” වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම ” යන තේමාවෙනි.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ (paris club) සාමාජිකයන් ද හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.