රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (26) උදෑසන එම ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.