කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන්.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 13 ත් 23 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 13 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 93 ත් යන මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.