රදැල්ල බස් රථ අනතුරේ රියදුරුට එරෙහිව දැඩි නීතිමය පියවර

රදැල්ල බස් රථ අනතුරේ රියදුරුට එරෙහිව දැඩි නීතිමය පියවර

මාතර සිට නුවරඑලිය හරහා ශ්‍රි පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක් නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා.

(22) දින රාත්‍රි 7 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය.

අධික බැවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වි ඇති බස් රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විම හේතුවෙන් ධාවනය වු බස් රථය රියදුරු පාලනයෙන් මිදි ප්‍රධාන මාර්ගය අසල පිහිටි කන්දක හැපි මාර්ගයේ එක් මංතිරවක් හරහා පෙරලි තිබේ.

අනතුරෙන් තුවාල ලැබුවන් අතර කුඩා ළමුන් කිහිපදෙනෙකු සහ බස් රථයේ රියදුරා සිටින බවත්, බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

බස් රථයේ ගමන් ගත් පිරිස මාතර සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, බස් රථයේ රියදුරාට එරෙහිව අධිකරණය හමුවේ දැඩි නීතිමය පියවර ගන්නා බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

බස් රථ අනතුරෙන් පසු මාතර සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තවත් බස් රථයක් එම මාර්ගයේ ධාවනය කරවන අවස්ථාවේ නානුඔය පොලිසියේ නිලධාරින් විසින් එම බස් රථය නතර කර බස් රථය නානුඔය කිරිමැටිය මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙසට උපදෙස් ලබා දි ඇත.

ඉකුත් වසරේ ජනවාරි (19) දින මෙම අනතුර සිදු වු ස්ථානයට යාබදවම පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත් විමෙන් එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

රදැල්ල කෙටි මාර්ගයේ මගි ප්‍රවාහන බස් රථ ධාවනය තහනම් කර තිබියදි බස් රථය ඒ පිලිබදව නොදැනුවත්කමින් ධාවනය කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

කෙසේ වෙතත් එම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තහනම් කර ඇති බව තමන් නොදැන සිටි බව අනතුරට පත් බස් රථයේ රියදුරු පවසා ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

Share This