ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය හෙට (29) පෙරවරු 9.00 ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙන බැවින් ඒ සදහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.

එම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයාට සහාය දක්වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බැවින් එම සාකච්ඡාවට සහභාගි වීම සඳහා ටාජ් සමුද්‍රා හෝටලයේම රැදී සිටින මෙන් එම මන්ත්‍රීවරුන්ට තවදුරටත් දැනුම්දී තිබේ.

“පුළුවන් ශ්‍රී ලංකා” යන දැක්ම මුල්කර ගනිමින් ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙන අතර රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් එහි ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැගීම “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.