වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් 988 කට නිදහස

වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් 988 කට නිදහස

වෙසක් පෝය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988 ක් අද (5) දිනයේ නිදහස් කරන බවත් එයට සිරකරුවන් 982 ක් සහ සිරකාරියන් 6 ක් ඇතුළත් බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

අද (5) දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පෝය දිනය වෙනුවෙන් මෙවර බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බවත් ඒ අනුව පහත සඳහන් නියමයන් හා කොන්දෙසි මත සිරකරුවන් සඳහා මෙම පොදු සමාව ප්‍රදානය කරන බවක් ඒකනායක මහතා කීය.

බන්ධනාගාරගතව අද දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් දීම, දඩ මුදල් නොගෙවීම මත අද දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහොසි කිරීම,

දඩ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර අද දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිම මෙහිදී ක්‍රියාත්මක විය.

ජීවිතාන්ත සිරදඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියමකර ඇති සිරකරුවනගේ සිර දඬුවම වසර 15 කට අඩු කිරීම, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් අද දින වන විට පුණරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ පුණරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පණත පරිදි ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටතුව අහෝසි කිරිම සෙසු ආකාරය වේ.