බන්ධනාගාර නිලධාරීන් 03කගේ වැඩතහනම්

බන්ධනාගාර නිලධාරීන් 03කගේ වැඩතහනම්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවියන් දස දෙනෙකු යොදා තිබෙනවා.

එම අවස්ථාවේදී රැඳවියන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළා.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවියන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැනගොස් ඇති සිව්දෙනා අධිකරණයේ නඩු සහිත රැඳවියන් වන අතර, වසර 21 වැඩි සිරදඬුවමක් හා විසඳීමට ඇති නඩු 02ක් සහිත රැඳවියන් ද ඒ අතර වන බව සඳහන්.

මෙලෙස පැනගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු නැවත අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනීමට අනුමැතිය දුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව වැඩතහනමකට ලක්කර තිබෙන බවයි පැවසෙන්නේ.