විදුලිය විසන්ධි කරන්න ගිය විදුලි සේවකයෙකුට නිවැසියන් පහර දීලා

විදුලිය විසන්ධි කරන්න ගිය විදුලි සේවකයෙකුට නිවැසියන් පහර දීලා

විදුලි විසන්ධි කිරිමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පාරිභෝගිකයා සහ ඔහුගේ බිරිද විසින් ඊයේ (07) දින පහර දී තිබෙනවා.

පසුව තමන් සතුව තිබූ ටැබ් යන්ත්‍රය පැහැරගත් බව පවසමින් එම සේවකයා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

හැටන් දික්ඔය වනරාජා වත්තට අයත් මෙම නිවස වසර කාලයක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා මෙලෙස විදුලිය විසන්ධි කිරීමට මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන විදුලිය විසන්ධි කිරිම සහ සම්බන්ධතාවය ලබාදෙන නිලධාරියා තවත් අයෙකු සමඟ පාරිභෝගිකයාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

එම නිලධාරීන් පැවසූවේ වසරක පමණ කාලයක් රු 12,000/= ආසන්න විදුලි බිල ගෙවා නොතිබීම නිසා එම මුදල ගෙවන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

එම අවස්ථාවේ උරණ වූ නිවැසියා තමන්ගේ රාජකාරියට බාධා කරමින් විදුලිය විසන්ධි කරන නිලධාරියාට පහර දී තිබෙනවා.

විදුලි බල මණ්ඩලයේ පහර කෑ නිලධාරියා සඳහන් කළේ, එම අවස්ථාවේදී කෙසේ හෝ එම නිවසට ලබා දි තිබූ විදුලි සම්බන්ධතාවය විසන්ධි කළ බවයි.

එමෙන්ම විදුලිය විසන්ධි කළ නිවැසියා පොලීසියට ඊයේ පැමිණිලි කර තිබෙනවා.

එහිදී ඔහු පැමිණිලි කර ඇත්තේ, තම නිවසේ විදුලි බලය විසන්ධි කිරීමට පැමිණි අවස්ථාවේදී ඒ පිලිබඳව කරුණු විමසූ විට අදාළ නිලධාරියා විසින් තමන්ට සහ බිරිඳට පහර දුන් බවයි.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා සඳහන් කළා.

Share This