විදුලිබිල සියයට 30කින් අඩු කළ යුතු බවට මහජනතාවගෙන් යෝජනා

විදුලිබිල සියයට 30කින් අඩු කළ යුතු බවට මහජනතාවගෙන් යෝජනා

විදුලි බිල සියයට 20 ත් – 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බවට විදුලි ගාස්තු සංශෝධනය සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි කළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

දේශපාලනඥයන්, විවිධ සංවිධානවල නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ඇතුළු විවිධ බලශක්ති සංගම්වල නියෝජිතයෝ 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙම පළාත් සැසි සඳහා සහභාගී වූහ.

එහිදී පොදුවේ මෙ‌ලෙස සියයට 20 ත් – 30 ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩු කළ යුතු බවට යෝජනා වී ඇත.

ඒ අනුව, මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනාද සැලකිල්ලට ගෙන මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු සඳහා අවසන් තීරණය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පවසා සිටියේ, මේ වන විට පළාත් නවයේම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අවසන්ව ඇති බවය. විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම ඉකුත් 10 වැනිදායින් අවසන් විය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී මධ්‍යම පළාතේ ආරම්භ වූ අතර පසුව එය සෙසු පළාත්වලද ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.