මෙරට ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ වැඩ අවසන්

මෙරට ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ වැඩ අවසන්

මෙරට තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ.

කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන SAPP මුල්‍ය ආධාර යටතේ මෙම කර්මාන්ත ශාලාව සඳහා ලබා දී තිබේ.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන රුපියල් මිලියන 20ක වියදමින් හා කහත්තේවෙල තරුණ ගොවි සමාගමේ මුල්‍ය දායකත්වයෙන් ඉදි කර ඇති මෙම කර්මාන්ත ශාලාව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.

මේ වනවිට මෙහි ඉදි කිරීම් සියල්ල අවසන් වී ඇතත් තවමත් විදුලිබලය ලබා නොදීම හේතුවෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය විසින් මේ වනවිට අර්තාපල් පෙති හෙවත් Potato Chips විදේශ රටවලට අපනයනය කිරීම කරනු ලබයි. 2021 දී මෙරට අර්තාපල් පෙති ටොන් එකක් ඩොලර් 6314ක් වැනි ඉහළ මිලකට අපනයනය කර තිබේ.

මේ වනවිට අප රටේ Potato Chips සඳහා ඇති ඉල්ලුම සියයට 11 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ Potato Chips සඳහා මාල දිවයින, කැනඩාව, එක්සත් රාජධානිය, ලක්සම්බර්ග්, දකුණු කොරියාව වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතී.

ඒ අතර විදේශ රටවල සිට මෙරටට අර්තාපල් පෙති ආනයනය කිරීම ද සිදු කරයි. 2021 වර්ෂයේ මෙරටට Potato Chips ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි.

මෙම Potato Chips කර්මාන්ත ශාලාව බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ආරම්භ කිරීමට පියවර ගනු ලැබුයේ දැනට වැලිමඩ හා නුවරඑළිය මෙන්ම බදුල්ල ප්‍රදේශයේ අර්තාපල් වගාව සිදු කරන නිසා පහසුවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ඇති හැකියාව නිසා බවත්, මෙම මගින් අර්තාපල් වගා කරන ගොවි පවුල් 180කට තම අස්වැන්න මෙම කර්මාන්ත ශාලාව මගින් මිල දී ගැනීමටත් සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ලබන මස දී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇතැයි කහත්තේවෙල තරුණ ගොවි සමාගම පවසයි.