වරාය පාටියේ වීඩියෝ එළියට දැමූ කෙනාගේ සේවය අත්හිටුවන්න ඇමතිගෙන් තීරණයක්

වරාය පාටියේ වීඩියෝ එළියට දැමූ කෙනාගේ සේවය අත්හිටුවන්න ඇමතිගෙන් තීරණයක්

“කුහකයන් කන්නෙ බොන්නෙ නැති උනාට අපි කනවා බොනවා” යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පෙරේදා රාත්‍රියේ කොළඹ වරාය පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් සහභාගී වූ සාදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අද කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජ්‍ය ඇමතිවරයා එහිදී අවධාරණය කරන ලද්දේ, තමා ඇතුළු කණ්ඩායම එහිදී සහභාගී වූයේ වරායේ නිරීක්ෂණ චාරිකාවකට බවයි.

රන්ජිත් මද්දුමබණ්ඩාර සහ විජිත හේරත් යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේ සඳහා ආරාධනා කළ බවද හෙතෙම පැවැසීය.

මෙම වැඩසටහන සඳහා වැරදි ප්‍රචාරයක් ලබාදුන්නේ, පසුගිය කාලයේ අරගල කර මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබූ පිරිස බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙම සංචාරයට අදාළ තොරතුරු පටිගත කළ පුද්ගලයා සම්බන්ධයෙන් සොයාබලා පරීක්ෂණයක් පැවැත්වීමට වරාය සභාපතිවරයට දැනුම්දුන් බවත් වරාය නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

වෘත්තීය සමිති පුම්බන්න මෙවැනි කටයුතු සිදුකරන්නේ ‘රතු අයියලා’ බවත්, “කුහකයෝ කන්නෙ බොන්නේ නැති උණාට අපි කන බොන මිනිස්සු” බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

අදාළ වීඩියෝව පළකළ ජනමාධ්‍ය ආයතන මේවායේ සත්‍ය අසත්‍යතාව සොයාබැලිය යුතු බවද අවධාරණය කළ රාජ්‍ය ඇමතිවරයා, යම් පුද්ගලයකු අවසරයක් නැතිව අදාළ පරිශ්‍රයට පැමිණ වීඩියෝගත කර ඇති බවද සඳහන් කළේය.

මෙම පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.