පෝ දින පාර අවහිර කරන වාහන රියදුරන්ට නීතිමය පියවර

පෝ දින පාර අවහිර කරන වාහන රියදුරන්ට නීතිමය පියවර

පොසොන් පොහොය දිනවලදී මාර්ගයන්හි තදබදයක් ඇති වන ලෙස මාර්ග අවහිර වන අයුරින් වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

එලෙස වාහන නවතා තබන්නේ නම් එම වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් නොමැතිව ඉවත් කිරීමට කටයුතු කරන බවත් එලෙස නවතා තබන වාහන ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට වැයවන මුදල් වාහනයේ රියැදුරුට හෝ හිමිකරුට ගෙවීමට සිදුවන බව හෙතෙම පැවැසීය.

එමෙන්ම පොසොන් කලාපයන් පවතින ප්‍රදේශයන්වල රථ වාහන තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා 27 000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සංඛ්‍යාවක් යොදවා ඇති අතර මීට අමතරව පොසොන් සමයේ රාජකාරි සඳහා විසි දහසකට ආසන්න පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ද අනුයුක්ත කර ඇත.

තවද මෙම දිනවලදී අනුරාධපුර ප්‍රදේශයන්හි වැව්වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එහි පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හාරසීයකට වැඩි පිරිසක් එම ප්‍රදේශයන්හි යොදවා තිබේ.

Share This