බීලා වාහන එළවන අය අල්ලන්න අගෝස්තු 01 වනදා සිට පොලිසිය පැය 24ම මහපාරේ!

බීලා වාහන එළවන අය අල්ලන්න අගෝස්තු 01 වනදා සිට පොලිසිය පැය 24ම මහපාරේ!

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කර ඇති විශේෂ වැටලිමේ ක්‍රියාවලිය එළඹෙන අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියැපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇති අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිසිය පැවසිය.

දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියැදුරන් බවයි, පොලීසිය පවසන්නේ.

රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ.

2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ.

2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි.

2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි. ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය.

මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත.

ඒ අනුව, රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

මත්වූ රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය.

මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි.

ඒ, රියැදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්.

ඉන් රියැදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන්ය.

ත්‍රීරෝද රථ රියැදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි.

මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

Share This