ඉහල පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කළ සුරූපිනිය අත්අඩංගුවට

ඉහල පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කළ සුරූපිනිය අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන එම නිලධාරීන් අපහසුතාවයට පත් කරන සුරූපි කාන්තාවක මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ විද්‍යුත් තැපෑලට ලද ඒ ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨාශය යොදවා සිදුකළ විමර්ශනයකදී එය ව්‍යාජ පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු සිදුකළ පොලිස් විමර්ශන වලින් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම කාන්තාව ජංගම දුරකථන දෙකක් භාවිතා කර එක් දුරකථනයක කප්පම් ඉල්ලා මරණ තර්ජනය කොට ලිපියක් සකසා එය ඇයගේම අනෙක් ජංගම දුරකථනයට යවා ඇති බවයි.

එම කාන්තාව පේරාදෙණිය හිඳගල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි බවට පැමිණිල්ලේ සඳහන් කර තිබුනත් එවැනි ලිපිනයක් නොමැති බවට බුද්ධි නිලධාරීන් තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථනයේ ලිපිනයට අනුව කැකිරාව තලාව ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනි දින නිල නිවාසය තුළදී තම රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යාමට පෙර අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ ද ඇයගේ දුරකථනයෙන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇය එම මරණ පරීක්ෂණයේදී ව්‍යාජ නමකින් සාක්ෂි ලබා දී ඇති බවටද අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Share This