අන්තවාදී දේශකයාගේ මල ගෙදර ගිය තවත් අයෙක් වස බීලා

අන්තවාදී දේශකයාගේ මල ගෙදර ගිය තවත් අයෙක් වස බීලා

ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියකු වස ශරිරගත වීමෙන්කි දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

ඔහු සමග ඇගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න මහතාගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික දර්ශනවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද සිරිපුර පොලිසිය කියයි.

දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බවට තහවුරු වී ඇත.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.

ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවැනි විට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.

මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ.

ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයින් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා.

ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුලුව 07 දෙනෙකුට එහා අනුගාමිකයින් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා.

බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම් වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.

Share This