විදුලි ගාස්තු අඩු වීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතුයි

විදුලි ගාස්තු අඩු වීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතුයි

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත් එසේ භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (07) පැවසීය.

ජනාධිපති මාධ්‍ය ඒකකයේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එසේ පැවසීය.

ගාස්තු ඉහළ ගිය අවස්ථාවලදී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන් ඇතුළු පොදු සේවා ව්‍යාපාරිකයන් දැක්වූ උනන්දුව මිල පහළ දැමීමට නොමැති බවත් විදුලි ගාස්තු පහළ දැමීමේ වාසිය අනිවාර්යෙන්ම ජනතාවට ලැබිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

විදුලි ගාස්තු අඩු කිරීමට පෙර ආපනශාලා හිමියන් ආහාර මිල ඉහළ දමන්නේ යැයි කළ ප්‍රචාරය මිල පහළ නොදැමීමට කළ උපක්‍රමයක් බව කී අමාත්‍යවරයා ඉන් පසුව එම වැඩි කළ මුදල අඩු කළේ යැයි පෙන්වීම ඔවුන්ගේ උපක්‍රමය වූ බව ද සඳහන් කළේය.

ආපනශාලාවල ආහාර මිලේ එවැනි අඩු කිරීමක් කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් ආපනශාලා සහ කොමිනිකේෂන් ආදි ඇතුළත් පොදු කාර්ය කොටසේ විදුලි ගාස්තුව සියයට 24 කින් අඩු කළ බවත් ඒ මහතා කීය.

ඒ අනුව, ඡායාපිටපතේ සිට පොදු කාර්ය ගණයට ගැණෙන භාණ්ඩ හා සේවාවල ගාස්තු අඩුවිය යුතු බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share This