පොලිස්පති පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට අභියෝගක් – පාඨලී

පොලිස්පති පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට අභියෝගක් – පාඨලී

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

පත් කරන ලද පොලිස්පතිවරයාට මානව හිමිකම් සම්බන්ධ යෙන් නඩු ගණනාවක් පවතී. ඊට අමතරව ඔහු නඩු රැසකින් වරදකරුවකු බවට පත්ව සිටී.

එවැනි පුද්ගලයෙකු ට පොලිස්පති ධුරයට පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට බරපතල තර්ජන එල්ල වන බව රණවක මහතා සඳහන් කරයි.

දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වීමද ගැටලුවකි. අරගල සමයේදී ඔහුගේ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබේ. තත්ත්වයකදී නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ හැකි පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීම වැදගත් බව රණවක මහතා අවධාරණය කරයි.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථා දායක සභාවෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ගැටලු පවතී. කථානායකවරයාද අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි රණවක මහතා චෝදනා කරයි.

ඉන් ව්‍යවස්ථා ප්‍රතිපාදන ද උල්ලංඝනය වී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක්ව ඇති කාල සමයක් උදාවී ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර, ඊයේ (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මෙම සාකච්ඡාව සිදු කරන ලදී.

මෙය ඔබගේ මාධ්‍යයේ පළකරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.