පාස්පෝට් එක පැය දෙකකින් අතටම

පාස්පෝට් එක පැය දෙකකින් අතටම

එක්දින සේවාව යටතේ පැය දෙකක් වැනි කෙටි කාලයකින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවට පැය දෙකකින් විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා හැකි බව පැවසූ ඒ මහතා එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන අයට පෙරවරුවේ පැමිණ ටෝකනයක් ගත හැකි බවද අදාළ ටෝකන් අංක අනුව ලේඛන සහ ඇගිලි සලකුණු දී පැය දෙකක් පමණ රැඳී සිට විදෙස් ගමන් බලපත්‍රය ගත හැකි බවද සඳහන් කළේය.

ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී පවතින තදබදය මේ අනුව අවසන් කර ඇති බව කී ඒ මහතා සාමාන්‍ය ක්‍රමය යටතේ සති දෙකකින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද කියා සිටියේය.

තැරැව්කාර පුද්ගලයන් පසුපස නොයන ලෙස ජනතාවට දැනුම් දුන් ඒ මහතා මේ වන විට තැරැව්කාර පුද්ගලයන් 19 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් තැරැව්කරුවන් පැමිණීම බින්දුව දක්වා අඩු කර ඇති බවත් කීවේය.

මේ වන විට තැරැව්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම තහනම් කර ඇති බව කී ඒ මහතා පැය දෙකෙන් දෙකට ඔවුන්ට හසු නොවන ලෙස නිවේදන නිකුත් කරන බවත් එම පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම තොරතුරු ජාලයක් ක්‍රියාත්මක කරන බවද කියා සිටියේය.

Share This