පාර්ලිමේන්තු කාරක සභා කිහිපයකට නව සභාපතිවරුන් පත් කෙරේ
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුවුණා.
එහිදී ඵම කාරක සභාවේ සභාපති ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කරනු ලැබුවා.
එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා තේරී පත් වූ බව ප්‍රකාශ කෙරුණා.
අනතුරුව ඒ මහතා විසින් රැස්වීමේ මුලසුන දරමින් කාරක සභාවේ සභාපති ලෙස තමා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලුම සාමාජිකයින්ට ස්තූතිය පුද කළා.
ඒ අනුව, ඉදිරියේදී පෙත්සම්කරුවන්ට සහනයක් ලබා දීම සඳහා පෙත්සම් විමර්ශන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව කාරක සභාවේ වැඩි අවධානය යොමු වූ බවයි, වාර්තා වන්නේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය 24 වනදා තේරී පත්වුණා.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සදහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ තෝරා පත්කර ගැනුණා.
සභාපතිධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරනු ලැබුවා.
මෙහිදී සභාව අමතමින් අභිනව සභාපතිවරයා, කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සියලු සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන්ගේ සහය අපේක්ෂා කරන බවත් පැවසුවා.
මේ අතර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වැනිදා පළමු වරට පාර්ලිමේතුවේදී රැස් වූ අතර එහිදී අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනුණා.