හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක දී මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි, පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම සිද්ධිය පැහැදිලි කළේ මෙලෙසිනි,

“ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”

Share This