ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ ජය පාකිස්ථානයට

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟයේ ජය පාකිස්ථානයට

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131, කඩුලු 6ක් පමණක් දැවී රැස්කිරීමට පාකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉමාම් උල් හක් නොදැවී ලකුණු 50 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළ අතර එහිදී ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 461 ක් ලබා ගත් අතර පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් හා පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 279 ක් පමණක් වන අතර ඒ අනුව, ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 131 ක්.

ඒ අනුව ඔවුන් කඩුලු 6 ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.