නාවික භටයා ඝාතනය කළ නාවික භටයා අත්අඩංගුවට

නාවික භටයා ඝාතනය කළ නාවික භටයා අත්අඩංගුවට

ත්‍රිකුණාමලය තිස්ස නාවික හමුදා කඳවුරේ තැබෑරුම තුල මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලකදී නාවික භටයකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ කන්ඳේගෙදර පදිංචි කේ එම් ධම්මික ස්වර්ණ බණ්ඩාර (36) නමැති නාවික භටයා බව පොලිසිය පවසයි.

සැකකාර නාවික භටයා ද එම කඳවුරේම රාජකාරි කරන මාතලේ ඉඹුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකි.

නාවික හමුදා කඳවුරු භූමියේ ඇති තැබෑරුමේ ඊයේ (08) නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, සාදය අතරතුර ඉන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉතිරි දෙදෙනා මත්පැන් සාදය අතරතුර කිසියම් සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී සැකකාර නාවික භටයා තියුණු ආයුධයකින් සෙසු නාවික භටයාගේ පපු ප්‍රදේශයට ඇණ ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ නාවික භටයා ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සෙසු නාවික භටයා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.