බහුදින යාත්‍රාවක සිටි පිළිස්සුම් තුවාල සහිත ධීවරයෙක් ගොඩබිමට

බහුදින යාත්‍රාවක සිටි පිළිස්සුම් තුවාල සහිත ධීවරයෙක් ගොඩබිමට

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඊයේ (11) ඇතුළත් කර තිබේ.

මීගමුව ධීවර වරායෙන් 2023 ජුනි මස 22 වන දින ධීවරයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Sachintha Putha’ (ලියාපදිංචි අංක IMUL-A-0460 CHW) නැමැති බහු දින ධීවර යාත්‍රාව, ගාල්ලේ සිට ශ්‍රී ලංකාවට නිරිත දෙසට වන්නට වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවත්, එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පිළිස්සීම් තුවාල ලබා ඇති බවත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

එම දැනුම් දීමට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, පිළිස්සීම් තුවාල ලබා ඇති ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ‘SPAR MIRA’ නම් වූ වෙළඳ නෞකාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින්, පිලිස්සුම් තුවාල ලත් ධීවරයා වෙළඳ නෞකාව වෙත රැගෙන, එහි ගමනාන්තය වූ සිංගප්පූරුව වෙත යන ගමන් මාර්ගය වෙනස් කර, නාවික සැතපුම් 400ක්‌ පමණ දුරක් ගෙවා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශය වෙත රැගෙන විත් තිබේ.

අනතුරුව, දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් එම වෙළඳ නෞකාවෙන් ලබාගත් අනතුරට පත් ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.