පොලිස් වෙඩි පහරින් මියගිය රියදුරුට මිලියනයක වන්දියක් – SI සහ කොස්තාපල්ගේ වැඩ තහනම්

පොලිස් වෙඩි පහරින් මියගිය රියදුරුට මිලියනයක වන්දියක් – SI සහ කොස්තාපල්ගේ වැඩ තහනම්

නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය ලොරි රථ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මිය ගිය ලොරි රථයේ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබේ.

පසුගිය 18 වැනි දා පස්වරුවේ නාරම්මල පොලීසියේ නිලධාරීන් පිරිසක් සිවිල් ඇඳුමින් මෙහෙයුමක් සිදු කරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේ දී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර තිබුණා.

එම රථය අණ නොතකා ධාවනය කළ බවයි, පොලිසිය සඳහන් කළේ.

එහි දී උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් තිබුණා.

ඉන් අනතුරුව දම්පැලැස්ස හංදිය අසල දී උපපොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ රථයේ රියදුරුට තර්ජනය කර වෙඩි තැබූ බවයි, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමෙන් රොෂාන් කුමාරතිලක නම් 41 හැවිරිදි තිදරු පියෙකු මිය ගිය අතර ඔහු මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙක් වනවා.

සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට තාවකාලිකව ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.