වසර තුනකින් වංචාව හා දූෂණය අවසන් කරනවා – නාමල්

වසර තුනකින් වංචාව හා දූෂණය අවසන් කරනවා – නාමල්

රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිඳභාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වංචාව සහ දූෂණය ඇතැමුන්ගේ සටන් පාඨයක් බවට පත්වුවද එය අවසන්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පවසන ඒ මහතා රට ගොඩනැගීමට හැකි සහ උවමනාවක් තිබෙන දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරන බවද ඒ සඳහා ශක්තිය ලබාදෙන ලෙස සියලු දෙනාටම ආරාධනා කරන බවද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස එම පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙල ඇතුළත් “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

පිටු 45 කින් සමන්විත එම ප්‍රතිපත්ති ප්‍රකාශය ‘නාමල් දැක්ම’ ලෙස නම්කර තිබෙන අතර 2025 – 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල “ඔබ වෙනුවෙන් දියුණු රටක්” යන තේමාව යටතේ ඉදිරිපත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙය කොළඹ ITC රත්නදීප හෝටලයේ දී අද (02) පෙරවරුවේ පැවැත්විණි.