වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් සටන අද ඇරඹේ

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) ආරම්භ වීමට නියමිතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද(29) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වෙන අතර තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම ටෙස්ට් තරගාවලිය ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි අංක 3 කණ්ඩායම ලෙසින් සාර්ථකව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය දි සිල්වා පැවසීය .

ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති කුසලාන එළි දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය “අපි ටෙස්ට් ශූරතා අවසන් තරගය ක්‍රීඩා කරන්න ළං වෙලා හිටියා. නමුත් අවාසනාවකට අපිට මේ ශූරතාවලිය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා.

මම හිතන්නෙ අපිට වැරදුණ එකම තැන ලංකාවෙදි පාකිස්තාන තරගාවලිය පරාජය වීම. නමුත් ශූරතාවලිය හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අංක 3 විදියට අවසන් කිරීම ලොකු ජයග්‍රහණයක්” යනුවෙන් පැවැසූවේය.

එමෙන්ම පළමු තරගය සඳහා හොඳ තණතීරුවක් හිමි වී තිබෙන බවත්, තෙවැනි දිනයේ පමණ සිට දඟ කැවීමක් බලාපොරොත්තු වන බවත් හොඳ සමබරතාවයකින් යුතු ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය සඳහා ශ්‍රී ලංකාව සිය හොඳම දක්ෂතාවන් දැක්විය යුතු බවත් සඳහන් කළේය.