වසර හතරකට පසු හෙළි වූ දෙදෙරු මවගේ ඝාතනයේ සුලමුල

වසර හතරකට පසු හෙළි වූ දෙදෙරු මවගේ ඝාතනයේ සුලමුල

මීට වසර හතරකට පමණ ඉහතදී පහරදී ඝාතනය කර වැසිකිළි වලකට දැමූ හිනිදුම, කපල්ල බටහිර ප්‍රදේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිවූ බව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම කාන්තාව දෙවන වරට විවාහ වූ පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය. 2020 වර්ෂයේදී මෙම ඝාතනය සිදු වී තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව මෙන් ම සැකකරු ද දෙවන වතාවට විවාහ වී ඇති අතර ඝාතනයට ලක් වූ කාන්තාවට සැකකරුගෙන් දරුවන් දෙදෙනෙකු සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ඇයට පහර දී ඝාතනය කර පසුව නිවසේ වැසිකිළිවලට දමා ඇති බව පොලිසිය පැවසීය.

මෙම කාන්තාව අතුරුදහන්ව ඇති බවට සැකකරු විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

කෙසේ වෙතත්, පසුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම ඝාතනය සිදු කළ බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර ඊයේ (09) පස්වරුවේ උඩුගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩගැනීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.