වැවේ පාවෙමින් තිබියදී හමුවූ තරුණයාගේ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

වැවේ පාවෙමින් තිබියදී හමුවූ තරුණයාගේ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

මුලතිව් වවුනිකුලම්වැවේ මියගොස් සිටියදී ඊයේ (31) හමු වූ තරුණයා ගෙල සිරකොට ඝාතනය කර වැවට දමා ඇති බවට මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වී තිබේ.

කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන යතුරු පැදියකින් එමින් සිටි මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේ ආනන්දරාසා ජීවන් (27) නමැති තරුණයාගේ මළ සිරුර වවුනිකුලම් වැවෙන් හමු වී තිබුණි.

ඔහුගේ සරමක් යතුරුපැදිය හා පාවහන් යුගලක් වැව් කණ්ඩියේ එක් ස්ථානයක තිබී හමු වූ අතර මරණය සම්බන්ධයෙන් පොලීසියට විශාල සැකයක් හටගෙන තිබූ නිසා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැනුවත් කර තිබේ.

මළ සිරුර හදුනාගත් පවුලේ ඥාතීන්ද එම මරණය ගැන විශල සැකයක් පවතින බව මහේස්ත්‍රාත්පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇත.

එහිදී ඔහු වාර්තා කර ඇත්තේ, තරුණයාගේ මරණය ඔහුගේ ගෙල සිර කිරීමෙන් සිදුව ඇති අතර ඔහු මියයාමෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවත්ය.

අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්.එච්.මැක්රූස් මහතා තරුණයාගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දෙන ලෙසත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කර තිබේ.

නාට්ටන්කන්ඩාල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.